Menu

Sorry, nothing in cart.

සෙන් දහමින් උපන් ලෞකිකත්වයේ අධ්‍යාත්මික පැතිකඩ

සෙන් දහමින් උපන් ලෞකිකත්වයේ අධ්‍යාත්මික පැතිකඩ

මා හිතවතා විසින් මට ‘සෙන් දුනු ශිල්පිය’ පොත ඇතුළු තවත් පොත් කීපයක්ම පරිත්‍යාග කළේය. එම පොත් මම ඉතාමත් ආශාවෙන් කියවා අවසන් කළෙමි. එම පොත්වලින් මට ලැබුණු දැනුම සහ ජීවිතයට ලැබුණු ආශ්වාදය මෙතරම් යැයි කිව නොහැක. එම පොත් අතරින් මට නවමු අත්දැකීමක් ගෙනදුන් පොත වූයේ ඩබ්ලිව්. එම් ගුණතිලක විසින් “සෙන් දුනු ශිල්පය” නමින් සිංහලට පරිවර්තනය කල “එවුජිං හෙරීජ් Eugen Herrgel ගේ ZEN IN THE ART OF ARCHERY කියන පිටු හැත්තෑපහකකින් යුත් පොඩි පොත් පිංචයි. එය ඉතාමත් කුඩා පොත් පිංචක් වුවත්, එය ජීවිතය ගැන කියාදෙන මහා සාගරයක් බඳු විශාල ජීවන දහමක් ඒ තුල ගැබ්ව තිබේ. මේ පොත ගැන මට යමක් ලිවිය යුතු යැයි මා කීප වරක්ම සිතුවත් මගේ අනිකුත් වැඩ රාජකාරී නිසා මට එය ලියන්නට වෙලාවක් හමු නොවීය. මේ අතරතුරදී මගේ හිත මිතුරා “නලින් සම්පත් කරුණාසේන” දුරකතනයෙන් කතාකර “මචං සාලිය මම සෙන් දුනු ශිල්පිය” පොත කියෙව්වා, ඒක මාර පොතක් බන්, පොත පොඩි වුනාට” යැයි කීවේය. මගේ යටගියාව නැවත උඩට මතුවිය. එවිට මම ඔහුට කිව්වේ “මටත් පොත දැනුනා මචං, ඒත් ඒ ගැන ලියන්න වෙලාවක් හමුවුනේ නැහැ නලින්” කියාය. පසුව මම ඔහුට යෝජනා කලේ “මචං අපි මෙහෙම වැඩක් කරමු, උඹ පොත පසුබිම් කරගෙන එයට ගැලපෙන සිතුවමක් නිර්මාණය කරපං , මම ඒක හරහා මේ පොත ගැන මගේ අදහස ලියන්නම්” කියායි. එවිට දවස් කීපයකට පසු ඔහුගේ පරිකල්පනීය ශක්තිය නිර්මාණශීලීව යොදල ඔහු මේ සිතුවම මට එව්වේය. මේ ඔහු විසින් අඳින ලද ඒ නිර්මාණශීලී සිතුවමයි. මගේ මේ කෙටි සටහන පොත තුලින් මතුවූ සිතුවම හරහා මා සිත තුල ඇතිවූ සිතුවිලි දහරාවයි.

දුන්න කිව්ව ගමන් අපිට එක පාරටම සිහියට එන්නේ වැදී ජනතාව විසින් ඔවුන් දඩයම් සඳහා භාවිතයට ගන්නා උපකරණයක් කියායි. ඇත්තටම දුන්න යනු ඈතක සිටින සතුන් දඩයම් කිරීමට ගන්නා ප්‍රාථමික යුගයේ ආදී මානවයා විසින් පාවිච්චි කල දඩයම් උපකරණයක් බව අපි කවුරුත් දන්නා කාරනාවකි. එහෙත් පසුකාලීනව මෙය දුනු ශිල්පියක් බවට පත්වී, එය මේ වනවිට ජාත්‍යන්තර ක්‍රීඩාවක් බවටද පත්වී ඇත. එහෙත් අපි වැඩිපුර නොදන්නා කාරණයක් වන්නේ මෙය මිනිස් ජීවිතයේ අධ්‍යාත්මික දියුණුව සඳහා පාවිච්චි කරන උපකරණයක් ලෙස ගන්නවා කියන කාරණයයි. ඉලක්කයට එල්ලකර සතෙකු මැරීමට ගන්නා දුන්න වැනි උපකරණයක් “අධ්‍යාත්මික” මෙවලමක් වෙන්නේ කෙසේද කියන කාරණය ගැන කෙනෙකුට විමතියට පත්වීමට කරුණක් වීමට පුළුවන්. එහෙත් සෙන් දහම, තාඕ දහම, චිගොන් සහ යෝග වැනි අධ්‍යාත්මික විද්‍යාවක් හරහා දුනු ශිල්පිය ගුරුකොට ගෙන තම මනස සුසර කරගන්නේ කෙසේද කියන කාරණය එම විද්‍යාවන් නිසියාකාරව පුරුදු පුහුණු වුනු අය හොඳටම දන්නා කාරනාවක්. අප රටේ එහෙම අය සිටිනවාද කියා මා නොදන්නා වුවත්, ජපානය, චීනය වගේ රටවල්වල මෙය හොඳටම ප්‍රගුණකළ අය සිටින බව මා හොඳටම දන්නවා.

සෙන් දහම, තාඕ දහම, මහායාන දර්ශනය හා යෝග විද්‍යාව යම් ආකාරයකට මම හදාරා ඇති නිසා මම දන්නවා මේ දර්ශනයන් තමන්ගේ ජීවිතයට කෙතරම් වටිනවාද සහ තමන්ගේ මනස තියුණු ඊතලයක් සේ කෙතරම් සුසර වෙනවාද කියා. “සෙන් දුනු ශිප්ලිය” පොත හරහා අපගේ ජීවිතවලට කියාදෙන ජීවන දර්ශනය අති මහත්ය. සෙන් දහම, යෝගී විද්‍යාව සහ චිගොන් වගේ ශිල්පියන් යම් ශික්ෂණයක් යටතේ පුරුදු පුහුණු වුනු කෙනෙක් දන්නවා සමාජයෙන් සහ අවට පරිසරයෙන් කෙතරම් “නින්දා අපහාස” සහ අනිසි බලපෑම් ආවත්, ඒ සෑම දෙයකටම ශක්තිමත්ව නොසැලී ඉන්ද්‍රකීලයක් සේ මුහුණ දෙන්නට හැකියාවක් ඒ තුලින් ලැබෙන බව. සෙන් දහම හා බැඳුනු දුනු ශිල්පිය ශක්තිමත් ජීවන දහමකට මග කියාදෙන ඉතාමත් තියුණු ශිල්පියකි. මේ පොත පුරාවටම තිබෙන්නේ ඒ ශිල්පය ප්‍රගුණකළ ලෞකික වශයෙන් හා අධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයකට තම මනස පුහුණු කල පුද්ගලයෙකුගේ සැබෑ අත්දැකීම් මත ලියැවුණු කතාවකි. දුනු ශිල්පිය ගැන ජපන් මිනිසුන් තේරුම්ගන්න හැටි පොතේ සඳහන් වෙන්නේ මෙහෙමයි.

” ජපන් වැසියා මෙම දුනු ශිල්පිය තේරුම් ගන්නේ ක්‍රීඩාවක් ලෙස නොව ආගමික අභිචාරී විධියක් ලෙසය. දුනු ශිල්පියේ කලාව යනු ශරීර ශක්තියෙන් වෙනත් අයෙකු අභිබවා යාමක් නොව ඔවුන්ට අධ්‍යාත්මික අභ්‍යාසයකි. එහි අරමුණ ලෙස ගන්නේ තමාවමය. එසේ තමාට ප්‍රහාර එල්ල කර ගැනීම සාර්ථක වීමද විය හැකිය”

සෙන් දහම කියන්නේ අප එදිනෙදා අත්විඳින සෑම සංසිද්ධියක්ම සහ අත්දැකීමක්ම සැබෑ ජීවිතයේන් පලා නොයා ඒ දෙස සවිඥානිකව බලා ඒ තුල ජීවත්වීමට ශක්තිය ඇතිකරනු ලබන ලෞකිකත්වය මත පදනම් වූ දහමකි. සෙන් දහම ඉන්දියාව හරහා චීනයට ඇවිත්, අදවන විට මෙය ජපානය තුල ස්ථාපිත දහමක් බවට පත්වී ඇත. ජපානය කාර්මීකරණය සහ අධ්‍යාත්මික ගුණයෙන් පිරිපුන් රටක් බවට අද පත්වී ඇත්තේ සෙන් දහම නිසා යැයි බොහෝ සමාජ විද්‍යාර්ථයින් ගේ අදහසයි. සෙන් දහම යනු ලෞකික ජීවිතයේ පැතිකඩක් වගේම, එය තම මනස අවිඥානය වෙතට සුසර කරගත හැකි ලෞකික දහමකි. එම නිසා සෙන් දුනු ශිල්පිය පොත අලුතින් සෙන් දහම ඉගෙනගන්නට කැමති සෑම කෙනෙකුම කියවිය යුතු පොතක් ලෙස මම දකින අතර, එය ජීවිතය පිළිබඳව වෙනත්ම මානයකින් දකින්නට කැමති සෑම කෙනෙක්ම කියවිය යුතු පොතක් ලෙසද දකිමි. මුළු පොතේම සාරය මෙම කොටස තුල ගැබ්වී තිබේ.

“සෙන් දහමින් හැඩ ගැන්වුණු කලාවක් පුහුණු කරන සෑම ආචාරවරයාම සර්ව-ව්‍යාපී (සෑම තැනම පැතුරුණු ) සත්‍යයේ වලාකුළු වෙතින් විහිදෙන විදුලිය රේඛාවක් බඳුය. එම සත්‍යය ඔහුගේ අධ්‍යාත්මයේ නිදහස් චලනය තුල එළඹ සිටින්නේය. ඔහුට නැවත එය හමුවන්නේ තම මූලාරම්භක අනාමික (නමක් නැති) සාරය වූ “එය” තුලය. මෙම සාරය ඔහුට නැවත නැවතත් හමු වන්නේ , ඔහුගේ පැවැත්මේ පරම හැකියාවන් මවන, දහස් ගණන් හැඩයන් හා රුපකාරයන් ලෙසිනි”

ජීවිතය සජීවී යතාර්තයක් ලෙස අත්දකින්නට සෙන් දහම කදිම දහමකි.

සාලිය ඉඳුරුවිතාන

Comment (1)

  • youtube video downloader Reply

    Thank you for sharing this insightful article! I found the information really useful and thought-provoking. Your writing style is engaging, and it made the topic much easier to understand. Looking forward to reading more of your posts!

    September 7, 2024 at 2:33 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

X