අද්වය දර්ශනය තුළ, පරමාර්ථමය යථාර්ථය යනු, වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි එදිනෙදා අත්දැකීම් ය. සිද්ධ යෝගීන් පාරභෞතික විග්රහයන් නොඉවසන්නේ එබැවිනි. එසේ වුවද, යන්ත්‍ර, මණ්ඩල හා දේවතාවන් මගින් නියෝජනය කෙරෙන මෙම අවාච්‍ය පරමාර්ථමය තත්ත්වය, ඔවුන්ට අතිමානුෂීය ශක්තිය, බලය හා ප්රත්යක්ෂය ජනනය කෙරෙන ‘ඩයිනමෝව’ විය. ඔවුන්ට ඒ පිළිබඳ සංකල්පයක් තිබුණේ නැත, ඒ ගැන දැනීමක් තිබුණේ නැත; එය ගැන සිතා ගත නොහැක, ලෞකික මනසට එය තේරුම් ගත නොහැක. එය නිර්ණය කළ නොහැක,තීරණය කළ නොහැක, ස්ථානගත වී ද නැත. තථතා යන්න ඊට හොඳම වචනය බව පෙනේ. එය “ඇති සැටි බව” හෝ “යථා බව” ය, “පරමාර්ථමය විශේෂිතය” ය, වැලි කැටයක් තුළ ඇති විශ්වය ය. එය අපේ සංගීතඥයන් හා කවීන් සොයා ගිය, ග්‍රහණය කර – අල්ලා ගත – නොහැකි සාරය ය. ඒ පිළිබඳ ප්‍රතිභාවෙන් ඔවුහු බටහිර තාන්ත්‍රිකයන් බවට පත් වෙති. එයට හේතුවක් හෝ මූලයක් නොමැත, එබැවින් එය නූපන් – අනුත්පන්න – දෙය ය, “පවිත්‍ර විභවය” ය. එය විශ්වීය සමස්තය හා අබ ඇටය(බීජය) ය; එය සංකේතවත් කිරීම සඳහා බොහෝ විට බීජයක් හෝ බිත්තරයක් යොදා ගනු ලැබේ. එහෙත් ඒ ගැන කියවෙන ඕනෑම දෙයක් කාව්‍යයක් බවට පත්වේ. එසේ නැතහොත් එහි ඇත්තේ ශිෂ්‍යයාට හඳුනාගැනීම සඳහා සකස් වූ උපදේශාත්මක අර්ථයකි. බොහෝ අය අත් දකින්නේ එහි දර්ශන මාත්‍රයක් පමණි. ඡායා මාත්‍රයක් පමණි. යථාර්ථය කිසිසේත් නිශ්චය කළ නොහැක්කක් නිසා, පරමාර්ථමය සත්‍යය පිළිබඳ සංකල්පයක, කිසිදු සත්‍යයක් නොමැත.ඉන් වෙන්කොට ගත නොහැකි වූ ලෞකික සංසිද්ධීන් යනු – ඒවා යථාර්ථය ලෙස හඳුනා ගන්නා තුරු – බොරුවක් පමණි.
අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ යෙදුම් තන්ත්‍රවල බහුලව දක්නා ලැබේ. ඒවායේ ක්‍රියාකාරිත්වය සෙන් කොඅන්වල සේ ය, එනම් සංකල්පීය චින්තනය විනාශ කිරීම සඳහා යොදන ලද සංකල්පයන් ය. සංකල්පීය දැනුම යනු යථාර්ථය වසා දැමීම සඳහා යොදනු ලබන කඩතුරා ද්වයයෙන් එකකි. අන්‍යෝන්‍ය-ප්‍රතිවිරුද්ධතාව යනු, එහි පූර්ණ ප්‍රතිවිරුද්ධ ප්රකාශනයයි. සිද්ධවරුන්ගේ ප්රත්යක්ෂයේ ගීතවල දිගින් දිගටම භවසත්තාමය ලෙස පමණක් විසඳිය හැකි අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ එක් කියමනක් ඇතුළත් වේ. සිද්ධවරයන්ගේ අත්දැකීම අවකාශමය අඛණ්ඩතාවක් නම්,සෑම දෙයක් ම ශූන්‍යතාව නම්, ඇත්තේ ශුද්ධාලෝකය පමණක් නම්, සංවේදී ඉන්ද්රිය අරමුණු කොහේ ද?, භෞතික විශ්වය කොහේ ද? මෙම අන්‍යෝන්‍ය ප්රතිවිරුද්ධතාවට පිළිතුරු මහායාන පාරභෞතිකත්වය තුළ ඇත. “ශූන්‍යතාවය යනු රූපය ය, රූපය යනු ශූන්‍යතාවය” ය, යන හෘදය සූත්‍රයේ එන කියමන තුළ ය. රූපය නොවේ නම්,ශූන්‍යතාව කිසිවක් නොවේ. සියලු දේවල් අවකාශය තුළට දිය වී ගොස්, ඒවා අවකාශය ලෙස දකින විට, සාරය (ඝනත්වය) පවතින්නේ දේදුන්නක් හෝ හොලෝග්රෑමයක් ලෙස ය. ඉන්ද්රිය බද්ධ හා මනෝමය භූමීන්ට පරිබාහිරව කිසිදු දෙයක් පවතින්නේ නැත,යන ආකර්ශනීය මහායාන අදහස මගින් පරමාර්ථමය යථාර්ථය සොයාගත හැක්කේ සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළම ය යන්න-ශූන්‍යතාව යනු රූපය ය යන්න ස්ථිර වේ. පරමාර්ථමය විශේෂිතයේ නිරන්තර ශිඛර අත්දැකීමෙන් අදහස් වන්නේ අද්වය සංජානනයකි. කරන්නා (හෙවත් කර්තෘ) හා කරනු ලබන (කර්මය) යන දෙකේ එක්වීම ය, දන්නා පුද්ගලයා/දැන ගත් දෙය යන දෙකේ එකට එක්වීම ය. තමා හා අනුන් යන දෙකේ එකට එක්වීම ය. මෙම අවසානමය තාන්ත්‍රික ගූඪත්වය යනු මහාමුද්රාව ය.
| Weight | .550 kg |
|---|---|
| Dimensions | 21 × 15 × 2.5 cm |
Reviews
There are no reviews yet.